මේසන් බාස්ලා නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ආකාරය දිනේෂ් සඳරුවන් කටුගම්පල බලා සිටියේ විමසිල්ලෙනි. එහිවූ ආරුක්කුවක කිසියම් ඇදයක් ඇති බව දිනේෂ්ගේ විමසිලිමත් දෙනෙත් පහසුවෙන්ම හඳුනාගත්තේය. බෝමිරිය ජාතික පාසල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ඉගෙනුම ලැබූ, කඩුවෙල කොතලාවල දිනේෂ් සඳරුවන් කටුගම්පල ඒ දිනවල මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාවක් හදාරමින් සිටියේය.
ආරුක්කුවේ ඇදය තමන්ගේ දෙනෙත්වලට හසුවුවත්, එය කිසියම් ක්‍රමයකින් ඔප්පු නොකළහොත් මේසන් බාස්ලා එය පිළිනොගන්නා බව දිනේෂ් අවබෝධකර ගත්තේය. ඒ සඳහා ඔහු ගණන් සාදා සමීකරණයක් නිර්මාණය කළේය.
ඔහු එම සමීකරණය හැඳින්වූයේ වර්ග දෙගුණ ක්‍රමය යනුවෙනි. ලෝකයේ මතෛක් කිසිවෙකු ඉදිරිපත් නොකළ ඒ සමීකරණය සඳහා ඔහු පසුගියදා පේටන්ට් බලපත්‍රයද ලබාගත්තේය. එම සමීකරණයට ආදේශ කිරීම සඳහා ඔහු මිනුම් උපකරණයක්ද නිර්මාණය කළේය. ඔහු එය හැඳින්වූයේ රේඩියස් මීටරය යනුවෙනි.
තම රේඩියස් මීටරය දිනේෂ් සඳරුවන් කටුගම්පල හඳුන්වන්නේ ඕනෑම ප්‍රමාණයක වෘත්ත කොටසක් පමණක් යොදාගනිමින් එය ව්‍යුත්පන්න වී ඇති වෘත්තයේ අරය මැනීමට, සම්පූර්ණ වෘත්තය නිර්මාණය කිරීමට හා වෘත්ත කොටස්වල වක්‍රතාවයේ නිවැරදි බව හෝ දෝෂයන් මැනීමට යොදාගත හැකි උපකරණයක් ලෙසිනි. මෙය සිදුකළ හැකි ලෝකයේ පවතින එකම උපකරණය මෙය වෙයි.
රේඩියස් යනු අරයය. අරය මනින උපකරණය රේඩියස් මීටරය වෙයි.
දිනේෂ් පවසන ලෙස මෙම රේඩියස් මීටරය යෙදීම් තුනක් සඳහා භාවිතා කළ හැක. එනම් වෘත්තාකාර කොටසක අරය මැනගැනීමට ඕනෑම වෘත්තාකාර කොටසක අරයේ නිවැරදි බව තහවුරු කරගැනීමට සහ එහි ඇති දෝෂයන් දැන ගැනීමට. යම්කිසි තැන, ස්ථානයක ඇති වෘත්තාකාර කොටසක් වෙනත් ස්ථානයක ප්‍රතිනිර්මාණය කරගැනීමට වශයෙනි.
යම් කිසි ස්ථානයක සිට සෘජු දුරමැනීමට ‘වර්නිය කැලිපරය’ ඇත. එසේම ගෝලයක අරය මැනීමට ‘ගෝල මානය’ ඇත. නමුත් වෘත්ත කොටසක අරය මැනීම සඳහා විද්‍යා ක්‍ෂේත්‍රයහි මතෛක් වූයේ විශාල හිඩැසකි. දිනේෂ් සඳරුවන් කටුගම්පලගේ ‘රේඩියස් මානයෙන්’ විද්‍යා ක්‍ෂේත්‍රයෙහි ඇතිව තිබූ එම හිඩැස පිරීයයි.
දිනේෂ් පවසන ලෙස මෙම රේඩියස් මීටරයේ සහාය බොහෝ කටයුතු සඳහා භාවිතා කළ හැක. නිසි ප්‍රමිතියෙන් යුතු මාර්ග, අධිවේගී මාර්ග ඉදිකිරීමේදී එහි ඇති වංගුවක උපරිම වේගය තීරණය කිරීමට වංගුවේ අරය දැනගැනීම අවශ්‍ය වෙයි. දැනට එම අරය දැනගන්නේ, මිනින්දෝරු උපකරණයක් වන ‘තියොඩලොයිට්ටුවා භාවිතා කර ගණනය කිරීම් සහිත දීර්ඝ ක්‍රමයකිනි. නමුත් දිනේෂ්ගේ රේඩියස් මිටරය භාවිතා කිරීමෙන් පාරේ වැඩකරන කම්කරුවකුට වුවද වංගුවේ අරය මැනගැනීමට හැක.
වාහන නිර්මාණය කිරීමේදී එහි බඳේ ඇති වෘත්තාකාර හැඩය නිර්මාණය කිරීමටද මෙම උපකරණයෙහි සහාය ලබාගත හැක. වෙනත් යන්ත්‍රවල වෘත්තාකාර කොටස් නිර්මාණය කිරීමේදී කෙස් ගහට නිවැරදිව එම කොටස් නිර්මාණය කර ගැනීමටද රේඩියස් මීටරයහි සහාය ලබාගත හැකිය.
වැවක සොරොව්වක විවරය සඳහා දොරවල් නිර්මාණය කිරීමේදී බොහෝවිට සිදුවන්නේ එම විවරයට පත්තර කොළ අලවා එමගින් එහි ප්‍රමාණය සටහන්කරගෙන, එය දොර තනන කර්මාන්තශාලාව වෙත ගෙන ගොස් එයට අනුරූපව වැවේ සොරෙව්වේ දොර නිර්මාණය කිරීමය. නමුත් රේඩියස් මීටරය භාවිතයෙන් සොරොව්වේ විවරයෙහි අරය ඇතුළු මිනුම් ගෙන පහසුවෙන් දොර නිර්මාණය කළහැකිය.
ලංකා බැංකු මූලස්ථානය වැනි රවුම් හැඩයේ බඳක් සහිත (සිලින්ඩරාකාර) ගෘහනිර්මාණයක පිටත බිත්තියකට සම්බන්ධකොට තවත් කොටසක් ඉදිකරන්නේ නම් (සන්ෂේඩ් එකක් වැනි) දැනට කරන්නේ ඇලුමේනියම් කම්බියක් ගෙන එය පිටත බිත්තියේ හැඩයට අච්චුවක් නිර්මාණය කර, එය යොදාගෙන අදාළ කොටස තැනීමයි. ද්‍රව්‍යයකින් දැන් රේඩියස් මීටරයෙන් අදාළ මිනුම් ලබාගෙන පහසුවෙන් එවන් කොටස් නිර්මාණය කරගත හැකිය.
රෙදි පිළි නිර්මාණ ක්‍ෂේත්‍රයෙහි කාන්තා ඇඳුම් නිර්මාණයේ සම්පූර්ණ ඇඟටම හිරවුණු ඇඳුම් නිර්මාණය කිරීමේදී ශරීරයේ ඒ ඒ හැඩතලවල මිනුම් නිවැරදිව ගැනීමට දිනේෂ් රේඩියස් මීටරයෙන් හැක.
දිනේෂ්ගේ මෙම රේඩියස් මීටරයෙන් සෙන්ටි මීටර් 5 සිට කිලෝමීටර් එක දක්වා වූ අරය ලබාගත හැක. එහෙත් මෙය අඟල් 12*8 ප්‍රමාණයේ පෙට්ටියක බහාගෙන යෑමට හැකිවීම තවත් සුවිශේෂීත්වයකි.
දිනේෂ්ගේ රේඩියස් මීටරයෙහිදී භාවිතා කරන සමීකරණය සහ අනික් ගණිතමය තොරතුරු නිවැරදි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පීඨයෙන් සහතික කර ඇත. එසේම මෙම රේඩියස් මීටරයෙහි භාවිතය පිළිබඳ මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයෙන් සහතිකකර ඇත.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම 2009 වසර සඳහා පැවැත්වූ නව නිපැයුම් තරගයේ භෞතික විද්‍යා අංශයේ විශිෂ්ටතම නව නිර්මාණය වශයෙන් දිනේෂ්ගේ රේඩියස් මීටරයට ජනාධිපති සම්මානය හිමිවිය. එමෙන්ම මෙය ලෝක නව නිපැයුම් තරගාවලියටද ඉදිරිපත් කරන ලදී.
ලෝක බුද්ධිමය දේපොළ ආයතනය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වාර්ෂිකව පවත්වනු ලබන ලෝකයේ නව නිපැයුම් තරගය පසුගිය මාසයේ පවත්වන ලදී. එහිදී ලෝකයේ විවිධ රටවල් හතළිස් හයකින් පුද්ගලයින් පන්සිය අසූනමයක් ඔවුන්ගේ නිෂ්පාදන දාහකට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කරන ලදී. එවැනි නව නිපැයුම් ඉදිරිපත් කළ අය අතරින් සියයට අසූපහක්ම දැවැන්ත ව්‍යාපාරික සමාගම්ය. තනි තනිව නව නිපැයුම් ඉදිරිපත් කළ සංඛ්‍යාව සියයට පහළොවක් පමණ විය.
එහිදී වෛද්‍ය විද්‍යාව සඳහා ලෝකයේ විශිෂ්ටතම නව නිර්මාණය වශයෙන් රන් සම්මානය හිමිවූයේ, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය ශාන්ත ජයතිලක බණ්ඩාර ලෙනදොර ඉදිරිපත් කළ සම්පීඩිත වාතය මගිින් ක්‍රියාකරන ශල්‍යකර්මවලදී අනවශ්‍ය පටක ඈත්කර තබන උපකරණයටය. එම උපකරණය සහ ලෙනදොර මහතා පිළිබඳ දීර්ඝ ලිපියක් ලක්බිම ඉරිදා සංග්‍රහයෙහි ප්‍රථමයෙන්ම පළකර ඇත.
එම තරගයේ රිදි සම්මානය හිමිවූයේ දිනේෂ් සඳරුවන් කටුගම්පල ඉදිරිපත් කළ රේඩියස් මීටරයටය. වීසා ලබාගැනීමට නොහැකිවීම නිසා මෙම තරගයට තම උපකරණයද සමග ජිනීවා නුවරට යෑමට දිනේෂ්ට නොහැකි විය. රේඩියස් මීටරය මෙන්ම එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරුද ජිනීවා විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද්දේ වෛද්‍ය ලෙනදොර විසිනි. දිනේෂ් ඒ පිළිබඳව වෛද්‍ය ලෙනදොරට බෙහෙවින් කෘතඥ වෙයි.
කඩුවෙල කොතලාවල පදිංචි දිනේෂ් සඳරුවන් කටුගම්පලගේ පියා විශ්‍රාමික ඩිපෝ පරීක්ෂකවරයෙකි. මව ගුරුවරියකි. එක් බාල සොහොයුරියක සිටින ඔහු පවුලේ එකම පිරිමි දරුවා වෙයි. දිනේෂ් බියගම මාස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයෙහි රැකියාව කරයි.
Shpetiol Thanks-දුටුනොදුටු
0 comments:
Post a Comment
ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...